Inside Edge Web Series | මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත් හොරුන්ගේ කතාව...




ඉන්දියන් සීරීස්, එහෙම නැත්තම් ඉන්දියන් කතා මාලා කිව්වම අපිට මතක් වෙන්නෙ අපේ රටේ රෑට හඬකවලා පෙන්නන මෙලෝ රහක් නැති කතා ටික තමයි. හැබැයි අවුරුදු ගාණක් තිස්සෙ තිබුණ මේ රැල්ල බිඳින්න මුලින්ම අත්පොත් තියනවා මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙම ඉන්න ස්ට්‍රීමින් සර්විස් කිහිපයක්. ඒ අතරින් Netflix සහ Amazon Prime Video තමයි මේ ගේම් එකට ලොකුවටම බැස්සෙ. මෙයාලා ලොකු අභියෝගයක් තමන්ගෙ කරට අරගෙන, ඉන්දියාව ඇතුළෙ එතෙක් මෙතෙක් නිර්මාණය වුණ හොඳම කතා මාලා ටිකක් නිෂ්පාදනය කරන්න සමත් වෙනවා. එහෙම නිර්මාණය වුණ හොඳම සීරීස් ඔක්කොම ටික වගේ මම ලිපි විදියට අරගෙන එනවා. එහෙනම් ඉතිං අද අපි හාහාපුරා කියලා Inside Edge වලින් වැඩේට බහිමු...

Amazon Prime ආයතනයෙන් ඉන්දියාව ඇතුළෙ කරපු පළවෙනි වෙබ් සීරීස් එක තමයි Inside Edge කියන්නෙ. ඒ වගේම අති විශාල පිරිවැයක් යොදලා අන්තර්ජාතික මට්ටමෙන්ම මේක නිෂ්පාදනය කරන්න Amazon Prime එකත් එක්ක මේකෙ නිෂ්පාදන කණ්ඩායම සමත්වෙලා තියනවා. මේ කතාමාලාව සම්පූර්ණයෙන්ම ගෙතිලා තියෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව වටා. විශේෂයෙන්ම ක්‍රිකට් තරඟයක් ඇතුළෙ අපි දකින රසවත් ක්‍රිකට් වලට යටින් තියන නීරස ක්‍රිකට් ගැන තමයි මේකෙ කතාවෙන්නෙ. Inside Edge සීරීස් එකේ පළමුවෙනි කතා සමය(සීසන් 1) 2017 දි තමයි Amazon Prime Video හරහා විකාශනය වෙන්නෙ. කොටස් 10කින් සමන්විත වුණු මේ පළවෙනි සීසන් එකෙන් අවුරුදු 2කට පස්සෙ, ඒ කියන්නෙ 2019 දි මේකෙ දෙවෙනි සීසන් එකත් නිකුත් කරනවා. ඒකෙත් කොටස් 10ක් තමයි බලාගන්න පුළුවන් වුණේ. මේ කතාව එතනින් එහාට නවත්තනවා කියලවත්, 3 වෙනි කතා සමයක් එනවා කියලවත් තාම නිළ සඳහනක් වෙන්නෙ නෑ. කොහොමින් කොහොමහරි අපි එකින් එක මේ සීරීස් එක ගැන පැහැදිලි කරගමු. 

මුලින්ම කතාකරමු මේකෙ Cast and Crew එක ගැන. Inside Edge අධ්‍යක්ෂණය වෙන්නෙ Karan Anshuman අතින්. මොහුම තමයි මේකෙ ගොඩක් එපිසෝඩ් වලට තිර රචනයෙන් දායක වෙලා තියෙන්නෙත්. රඟපාන අය ගත්තොත් Vivek Oberoi ප්‍රධාන චරිතය නිරූපණය කරන අතරෙ Richa Chadda, Angad Bedi, Tanuj Virwani, Siddhant Chaturvedi, Sayani Gupta ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වෙලා තියනවා. විශේෂයෙන්ම මේ කතා මාලාව ක්‍රීඩාවක් වටා දිවෙන නිසා මේ රංගන ශිල්පීන්ට එන ලොකුම අභියෝගයක් තමයි ක්‍රීඩකයින් විදියට රඟපාන එක. හැබැයි මට 100%ක් විශ්වාසයි මේක බලන්න පටන්ගත්ත වෙලාවෙ ඉඳන් ඔයාලට තේරෙන එකක් නම් නැහැ තමන් මේ බලන්නෙ කතාවක් කියලා. සැබෑම ක්‍රිකට් තරඟයක් ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් නරඹනවා වගේ හැඟීමක් ඔයාලට ඇතිවෙනවා නොඅනුමානයි. ඒ තරමට මේකෙ නළු නිළියො ටික තාත්වික රංගනයක යෙදෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයො විදියට රඟපාන අය ඒ ඒ තරඟ වලදි නියම ක්‍රිකට් ටෙක්නීක්ස් එහෙම පාවිච්චි කරලා වෘත්තීය ක්‍රිකට් පහරවල් එහෙම හරි ලස්සනට ගහනවා බලාගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන මේ සීරිස් එකේ අපිට දකින්න පුළුවන් විශේෂම චරිතයක් වෙන සරීනා මලික් කියන, මේ කතාවට අනුව ජනප්‍රිය නිළියකගේ චරිතය කාන්තාවන්ගෙ ආධිපත්‍යය, පිරිමි 100කට උනත් අභියෝග කරන්න ගැහැනුන්ට පුළුවන් කියන එක ලස්සනට පෙන්නලා දෙනවා





දැන් අපි Inside Edge සීරීස් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. කලිනුත් කිව්වා වගේ මේක සම්පූර්ණයෙන්ම ගෙතිලා තියෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව වටා. ඉතිං ක්‍රිකට් වල වර්ථමානයේ ජනප්‍රිය තරඟ ආකෘතියක් තමයි මේ ලීග්(League) තරඟ කියලා කියන්නෙ. ඔයාලා හොඳටම දන්න IPL මේකට හොඳම උදාහරණයක්. ඉතිං අපේ මේ කතා මාලාවට මූලික වෙන්නෙත් PPL(Power Play League) කියන ඉන්දියානු ලීග් තරඟාවලිය. වසර ගාණක් තිස්සෙ මේ තරඟාවලියෙ ඉදිරියෙන්ම හිටපු කණ්ඩායමක් තමයි මුම්බායි මැව්රික්ස් කියලා කියන්නෙ. ඉතිං මේ කණ්ඩායම කලින් වතාවල් වල වගේම මේ පාරත් හොඳට සූදානම් වෙනවා PPL එක දිනන්න. මේ සිද්ධි මෙහෙම වෙන අතරෙ PPL ඉතිහාසයෙ කවදාවත් නොවුණ දෙයක් මේ වතාවෙ වෙන්න යනවා. ඒ තමයි තරඟ පාවාදීම් එහෙමත් නැත්තම් Match Fixing කියන එක. Vikranth Dhavan කියන මුම්බායි මැව්රික්ස් කණ්ඩායමේ සම අයිතිකරුවා තමයි මේ වංචාවට මූලික වෙලා කටයුතු කරන්නෙ. ඉතිං PPL තරඟාවලියෙ පළවෙනි තරඟයේ ඉඳන් අවසාන තරඟය වෙනකන් කොහොමද මේ තරඟ පාවාදීම් වෙන්නෙ? අපේ මුම්බායි ටීම් එකේ මොන මොන ක්‍රීඩකයො මේ වැඩේට හවුල්ද? අන්තිමට මැවරික්ස් ලා මේ තරඟාවලිය දිනයිද? කියන ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයන්න නම් Inside Edge පළවෙනි සීසන් එක ඉවර වෙනකන් බලන්නම වෙනවා. මම කතාව ගැන මෙතනින් එහාට කියන්න යන්නෙ නෑ මුලින්ම බලන කෙනෙක්ගෙ රසවින්දනයට බාධා වෙන්න පුළුවන් නිසා.

දැන් අපි පොඩ්ඩක් හැරෙමු මේ කතා මාලාවෙ කතාවෙන ප්‍රධාන තේම කීපයක් දිහාට. කලිනුත් කිව්වා වගේ මේකෙ ලොකුවටම කතාවෙන්නෙ මුදලට තරඟ පාවාදීම් ගැන. අපි තරඟ පාවාදීම් ගැන ප්‍රවෘත්ති වලින් එහෙම අහලා දැකලා තිබුණට ඇත්තටම දන්නෙ නෑනෙ කොහොමද මේක වෙන්නෙ කියලා. ඉතිං මේ සීරීස් එක බලන ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මේවා කොහොමද වෙන්නෙ? මොන මොන තාක්ෂණයන්ද මේවට පාවිච්චි කරන්නෙ? කණ්ඩායමේම ඉන්න ක්‍රීඩකයො කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ? මුකුත් නොදන්න අහිංසක/නවක ක්‍රීඩකයන්ව බ්ලැක්මේල් කරලා මේවට ඇදලා ගන්න හැටි ගැන. ඊළඟට මේකෙ කතාවෙන ප්‍රධාන දේවල් දෙකක් තමයි Drugs and Sex කියන්නෙ. ඔයාලට මේක බලද්දි පුදුම හිතෙයි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ජීවිත එක්ක මේ drugs සහ sex සම්බන්ධ වෙන හැටි දැක්කම. මැච් එකක් පැරදුණාම කොකේන් ගහන අය, චියර් ගර්ල්ස් ලත් එක්ක පැවිලියන් එකේම සෙක්ස් කරන අය එහෙම බලාගන්න පුළුවන් මේකෙදි. මේක ගැන හුදු රසවින්දනයකට එහා ගිහින් බලන කෙනෙක්ට තේරෙයි අපි ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන මවාගෙන ඉන්න සුපිරි ජීවිත කියන සංකල්පය නිකන්ම නිකන් පුස්සක් කියලා. සෙක්ස් ගැන කියද්දි මේකෙ අපිට තවත් පෙන්නනවා ප්‍රධාන පෙළේ නිළියො තමන්ට අවශ්‍ය දේ කරගන්න සෙක්ස් කියන දේ හරියට උල් පිහියක් විදියට පාවිච්චි කරන හැටි. 

මේ සීරීස් එකේ කතාවෙන තවත් වැදගත් තේමාවක් තමයි කාන්තා ආධිපත්‍යය, එහෙමත් නැත්නම් කාන්තාවන්ට කරන්න පුළුවන් දේවල් කොච්චරද කියලා පෙන්නන එක. විශේෂයෙන්ම සරීනා මලික් ගෙ චරිතයෙන් අපිට පෙන්නනවා මොළේ කල්පනා කරලා වැඩ කරන, කපටි ගෑනියෙක්ට පිරිමි 100කට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියලා. ඊළඟට මේකෙ අපිට බලන්න පුළුවන් හරිම සංවේදී දෙයක් තමයි කුල භේදය කියන්නෙ. ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ ඉන්දියාව වගේ රටක කුල ප්‍රශ්නය කොයිවගේ තැනකද තියෙන්නෙ කියලා. ඉතිං මෙන්න මේ දේ ක්‍රිකට් වලට බලපාන්නෙ කොහොමද කියලා අපිට Inside Edge හරි අපූරුවට කියලා දෙනවා. විශේෂයෙන්ම කණ්ඩායමට එන අඩු කුල වල නවක ක්‍රීඩකයන්ට උසස් කුල වල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයො කරන අඩත්තේට්ටම්, ඔයාලගෙ ඇස් වලට කඳුලක් ගෙනේවි. ප්‍රධානම තේමා නොවුනත් අපි මේ කතාමාලාව බලාගෙන යද්දි ආදරය, සහෝදර ප්‍රේමය, ගුරු භක්තිය වගේ දේවලුත් සූක්ෂමව මිනිස්සුන්ගෙ ඇස් ඉස්සරහා තියන්න අධ්‍යක්ෂකවරයා සමත්වෙලා තියනවා. 

ඉතිං බොහෝ දුරට අපි මේ කතාකරේ Inside Edge කතා මාලාවෙ පළවෙනි කතා සමය ගැන විතරයි. දෙවෙනි එක ගැන නොකියන්න හේතු දෙකක් තියනවා. එකක් තමයි ඒක ගැනත් මේකෙම ලිව්වොත් මේ ලිපිය කෙටිකතාවකට වඩා දික් වෙනවා. දෙවෙනි හේතුව තමයි පළවෙනි සීසන් එක බලපු කෙනෙක් කවදාවත් දෙවෙනි එක නොබලා නම් මැරෙන්නෙ නෑ කියලා මට විශ්වාසයි. මොකද පළවෙනි සීසන් එකේ අවසානයේ ඒ අරගෙන දෙන හයිප් එක අපේ ඔලු වලින් ලේසියකට අයින් වෙන්නෙ නම් නැහැ. ඉතිං මේ විස්තර ටික කියවලා ආසාවක් ආවනම් අනිවාරෙන්ම Inside Edge අරගෙන බලන්න. පළවෙනි සීසන් එක ඔයාව නිකන්ම දෙවෙනි සීසන් එකේ download බට්න් එක ළඟටම ගෙනිහින් අතහරීවි. 

ලෝකයේ අවිනිශ්චිතම ක්‍රීඩාව එච්චරටම අවිනිශ්චිතයි කියලා හිතන්න එපා. ක්‍රීඩාගාරයේ ඉන්න කෙනෙක්ගෙ ටයි එක පවා නෝබෝල් දාන්න සිග්නල් එකක් වෙන්න පුළුවන්

Post a Comment

1 Comments